Saturday, August 10, 2013

කලු සිවුරු .......

කාමය, බලය නම් සැපය...... 
ධනය, ප්‍රභූත්වය සැපයට හේතුවය.... 
විශාල මුඛ විවර කර  
හුදී ජන ලේ උණු කිරීම   
සැප ලබා ගැන්මේ මාර්ගය ය......
කලු සිවුරු මේ අනාර්ය සත්‍යය පසක් කළහ.......

නිවන, පුනර්භවය මනෝ ප්‍රලාපයකට 
වැඩි යමක් නොවේ....
උහු එලෙස වටහා ගත්හ....

සියුම් දහම ගෙනෙන 
අප්‍රමාණ නිරාමිස ලෝතුරු සුවය,
ගෝලීයකරණය වූ ලොවක 
දොරේ ගලනා පස්කම් සැපට ගිජු මනසට 
ගෝචර නොවිණි  කිසි ලෙසක......... 
ඉදින් උහු  ඇස්, කන්, නාසා, කාය, මන පිනවමින් 
හැකිතාක් කල් සැප විදුම්හයි ඉටා  ගත්හ......

බුදු දහම , බොදු බැතිය තරම් විකිණිය හැකි 
මිල නියම කළ හැකි අන් යමක් කවරක් ද....??
ඉතින් උහු අන් දන ලෙසම  මාකටිං කරන්නට විය..
අලෙවි විය, උණු කැවුම් ලෙස...
මිනිස්සු  උන් වට කර ගත්හ....
ඒ සමග සිතූ පැතු සම්පත් ද පහල විණි////
උණු විය, තරුණ සිංහල ලේ කැකෑරෙන්නට විය, 
ගෝත්‍රවාදය හිස මත්තට රැගෙන ..........
දෙදහස් පන්සිය වසක් පුරාවට පීන පුරාතනයන්, 
දස දහස් ගණන් දිවි දී සුරැකි 
අභිමානය පාවා දුන් නරුමයන් විය හැක්කේ කාට ද??? 

ඉතින් සටන ඇරබිණී....
සැබවින්ම සටන ඇරබුනේ පමා වීය... 
ඔව්හු තැලෙමින් පොඩි වෙමින් වසර පන්සිය ගණනක් 
උපන් බිමේ උරුමයන් අහිමි වෙද්දී නොදැක්කා  සේ සිටියහ.... 
අවදි කරන තුරු සිටියහ.... අවදි වන්නට පෙරුම් පුරමින් සිටියහ.... 
දැන් ඔවුනට නායකයන් ලැබී තිබේ.....

ඔවුහු වෛරය වපුරුහ ....
ඔවුහු භීතිය වැපිරුහ ....
සැකය, අවිශ්වාසය මොනවට පෝෂණය කළහ....

මුලින් සතුරෝ ආක්‍රමනිකයෝ වූ හ.....
කෙමෙන් හොදම මිතුරා ද, අසල්වාසියා ද 
සතුරෙකු සේ දක්නා ලදී......

තැන තැන සෙමින් සෙමින් ගිනි ඇවිලුනේ ය

මිනිස්සු උන් පිළිකුල් කළහ..
නිකසල දහමට කැළැල් ගෙනෙන 
පිශාචයන් කැලක් සේ 
කළු සිවුරු පිටු දුටහ.

බහුතර සුළුතරය තැති ගත්හ...
සුළු ජාතියක්ව ඉපදීමේ පව 
තම දරුවන්ගේත් හෙට දවස 
වසා ගනු උහු දුටහ....

අන් ගොත් පතුරන්නෝ බිය වූහ ....
කහ සිවුරු බල නසා 
තම දහම වපුරන්ට 
මැවු ස්වප්න ඉරි තලනු 
දුටු ඔවුහු වියරු වැටුනහ....... 

කහ සිවුරු නොදැක්කා සේ  සිටියහ..... 
බාලයන්ගේ ලාමක ක්‍රියා
පමා නොවී  කෙලෙස් තවමින් උන් 
ඒ උතුමන්ගේ දැහැනට  නොගැටුණි....

මිනිස්සු රහසින් උන්ට ඇලුම් කළහ .....
තම දහම වෙනුවෙන් නරකින් හෝ සොදක් කරනා 
උන් වීරත්වයේ ලූහ .....

මිනිසුන්ට උන් ගැන තකන්නට කලක් නොලැබුණි ....
ජාති, ජරා ව්‍යාධියෙන් පීඩිතව 
සුතන් රකින්නට වහල්කම් කරමින්වුන් උන් 
මේ ගෝෂාව නැසූ කන්ව සිටියහ......
කාමසුඛල්ලිකානු යෝගයම ප්‍රගුණ කරමින් 
සිටිවුනට නම් කිසිත් ඇසුනේම නැත...... 

පාලකයෝ මුන්ටත්, මුන්ගේ පස මිතුරන්ටත් 
දෙගොල්ලන්ටම ඇලුම් කළහ.....
වාසි පැති බලමින් රහසේම උසි ගැන්වූහ....
රහසේම නිහඩ කළහ...
දැක නොදැක්කා  සේ සිටියහ.....
නොදැක දැක්කා සේ සිටියහ.....

ජවය බලය උතුරමින් තිබූ
අරමුණක් නැතිව වුවෝ  රොද බැද ගත්හ.....
එදා ලෙනින් ලා , චේ  ලා පෙන්වා අන්දනු ලැබූ ලෙසින්ම 
යලිත් ඔවුන් කර්ම කාරක කළහ....... 
බිලි පුදට පෙළ සාදවන ලදී ...... 
ඔවුහු උත්තරීතර අරමුණට දිවුරමින් කැප වුහ...

අවිශ්වාසය, පාලම් බිද දමද්දී, 
පවුරු ඉදි වුණි....
සේනා රහසේම රැස් කෙරුණි. ...
කොනිති ගැසීම් දෙපසින්ම සිදු වුණි...
මර්ධනය ප්‍රතිමර්දනය  කාගේද ??
කිසිවෙක් නොදත්හ.......

සටන පැතුරුනි .......
යුද්ධය චමත්කාර ජනකය .....
සටන් කිරීම ආශ්වාද ජනකය...... 
පිළිමලුන්ගේ භීතියට පත් දෙනෙත්, 
වේදනාත්මක යාදිනි, 
උණු ලේ ධාරා,
මේ සියල්ල යුද්ධයකටම උරුම 
සුන්දර දේය ....
යුද්ධය මානවයාගේ ප්‍රකෘතියයි......

එහෙත් එය වියරුවකි......
එහෙත් අහිමිවන දෙනෙතකින්, පාදයකින් 
ජීවිතයකට උදාවන කලුවර 
නුඹටද මටද පසක් නොවේ....
මවකගේ සුසුමක බර, 
පියෙකුගේ රහස් කදුලක සංවේගය ??
අපි ඒ ගැන කථා නොකර ඉමු ....

යුද්ධය වේගයෙන් පැතුරිනි .....
මැද මාවතට මුලින් වෙඩි තබන ලදී..... 
පැත්තක් ගන්නට සැමට බල කෙරුණි.... 
දෙපසටම සාධාරණ තර්ක තිබුණි...
ඒවා ප්‍රභලය. ...නොබිදෙන සුළුය... 
සටන් කිරීමට ප්‍රමාණවත්ය......
එහෙත් මිනිස් ජිවිතයක්, අතක්,  පයක් තරම් 
ඒවා වටිද...????? 
ඒ ගැන කතා කරන්නට කිසිවෙක් නොසිටියහ..... 


වෛරයට ආරම්භයක් මිසක අවසානයක් නැත ......
සෙබළු උදාර ලෙස දිවි පිදූහ .....
එහෙත් උන්ට හිමි වන්දිය, 
උන්ගේ අඹුවන්ට නිකන්ම දෙන්නට 
නිලධාරීන් ලෑස්ති වී සිටියේ නැත.....
අවස්ථාවාදියා උණ්ඩයෙන් පමණක් නොව 
අහරපතින් පවා මුදල් සෙවුවේය ......
ඊළග මොහෙතේ උන්ඩයක්ම උන් නිහඩ කළේය ...
පාලකයෝ බියෙන් මුසපත්ව කල දුටු කල වල ඉහ ගත්හ.....
විටෙක උණ්ඩය උන් ද අමතක කලේ  නැත.....

අන්තවාදයට කෙළවරක් නැත ....
ඉතින් අභ්‍යන්තර ස්පෝටන දුලභ නොවිය.....
ඉන් මිලේච්චතමයා, සැමවිටම නැතිමුත්,
බොහෝවිට ජය ගත්තේය......
යුද්ධයේ නියමය එයයි...

මුසල අදුර දහවල ද රැය ද පැතිරුණි ......

සියල්ලෝම හති වැටී උන්හ.....
කෙමෙන්  සියල්ල නිශ්චල වුණි .....
පරජිතයෝ මිසක, දිනුවෙකු නොවූහ.....
එහෙත් බොහෝ හානි අන් දහම් ඇදහුවන්ටයි
උහු නැගිටගනුවත් නොහී සිටියහ....
කෙමෙන් කෙමෙන් මුහුද රැළි නගන්නට විය.... 
කළු සිවුරු කුණු රොඩු ලෙසින් වෙරළට ගසා ගෙන ගියේය...

ජීවිතය යලිත් හුස්ම ගන්නට පටන් ගති....
යලිත් කහ සිවුරු බබලන්නට විය....
එතුමෝ  අකම්පිතව සිටියහ.....
සැගව තිබූ නිර්මල දහම යළි  මතු කළහ...
තුවාල සෙමින් වේලුනි ...
අන් දහම් ද  කෙමින් කෙමින් යලිත් හුස්ම නගන්නට විය 
කළු සිවුරු යලිත්......

ප .ලි :මෙයට පාදක වුයේ අප අත් විදි යුද්ධය නොවේ.. අප විසින් වලක්වා ගත යුතු අනාගතයයි 

No comments:

Post a Comment