Saturday, August 10, 2013

සිද්ධාර්ථ .......

අතැර යමි ජීවිතය, 
පාට දේදුණු සලුව,
තිබොල් කටු මත එලූ .....

ගිලෙමි මහ දියවරක 
හුස්ම තද කර තදට,
වසමි ඇස් - අරිමි සිත් 
විදිමි සම විනිවිදින සීතල ....

ගසමි පා - ගිලෙමි තව තව 
වෙන්ව යමි ලෝකයෙන්....
ඝනැති දිය වෙලී ගත 
විදිමි සුව තව හොදට , 
මකාලමි ඇලුම් පෙර දවස මා බැන්ද ..

එහෙත් මතු නිමේෂ දී 
හුස්ම ගන්නට සිදුව මතුව එමි දිය මතට 
දකිමි ඒ ලොව යලිත්, අතැර යන්නට සිතූ ...

ඇලුම් බිද වනගතව කවර යහපතද...
ඇලුම් දෙන කෙලෙස් පිරි 
බොහෝ  දේ  නුවර මිස වනේ නැත්තම්...
වනගත අපේ සිත අපිටත් හෝරාවට 
වනයට අලුත් ඇලුම් පානම්
මේ බවුන් වැඩුමේ අරුත කිමද ..

යළි ආමි නුවරටම ..වඩමි මම වසා ඇස් 
නුවර මැද සිට......

විවර කළෙමි වසාලු දෙනෙත් 
සෙමින් ආශ්වාස ප්‍රශ්වාස කලෙමි 

දැහැන බිද ලා 
යොමා ලුයෙමි නෙත් 
ගෙන්දගම් පොළව මත නටන 
මගේ සගයන් දෙසට සීරුවෙන් 
සමවත් සුවය නොසිදෙන්නට .....

අසාර වූ පංචස්කන්ධය 
සනස සනසා දුක් විදින මිතුරන් 
දෙස මදහසක් පෑවෙමි

කෙලෙස් ගිණි පුපුරු ගසනා 
පුර මැද සිටම විදිමි සමවත 
රතී  රාග මාර දූවරුන් රගද්දී, නෙත් මත්තේ ...
අන්වේෂණය  කරමි
මසැසින් අචේතනික ලොවක 
සචේතනික හේතු ඵල දහම 

දැහැන බිද දමා නැගී සිට 
ස්පර්ශ කරමි ගිනි මල් 
අනියත දහම ප්‍රාතිමෝක්ෂ කරමින් යටි සිතින්.. ...
විදින්නට තනමි ලෞකික සුවය
එහෙත් ඒ  හා බැදී එන දුකින් පීඩිතව 
යලිත් සොයා එමි දැහැන ....

කැඩෙන බිදෙන රුවක 
පිරුණු දුක යළිත් සිහි කරමි...
ඇලුම් බැදුම් දුරින් දුරු කරමි....
දයා දිය පිරුණු 
උයනක් මැද සිටම....

රෝෂ පරවශ හැගුම් හික්මවමි 
වියරුව උතුරා යන යුධ බිමක් මැදදීම 

සෙමින් දැහැන් ගත වෙමි 
දෑස් විවර කරගෙනම 
කමි, බොමි, ඇවිදිමි, සිනාසෙමි, 
වැළද ගමි මිතුරන්,  
දැහැන තුළ සිටම  - සමවත තුළම ගැලී 

ස්පර්ශ කරමි, නිරාමිස සුවය 
කෙමින් කෙමින් තද කරමින් ......
යථාවබෝධ නුවණ මතු කරමි
යළිත් නොගිළිහෙන ලෙසට ...

මඩ, කුණු පිරුණු වීදි ඔස්සේ 
පිය නගමි ,
නොවැකෙන්න දුවිලි බිදක්වත්...
බෙදමි සිසිලස පිනැත්තන්හට 

විකසිතව  සිනාසී 
සුවඳ දෙමි 
පිපී වැනෙමින් 
මද නලේ - සැහැල්ලුවෙන් ....

(P.S. : this is not something written about myself :) 


  


No comments:

Post a Comment