Tuesday, October 6, 2015

A human embryo at 7 weeks gestation - http://pinterest.com/pin/274790014740497456/?s=4&m=blogger

Wednesday, August 19, 2015

සිංහබාහු

ඉර එක්ක මැලවෙනා දහස් පෙතියා මලක,
මල් පෙත්තක,
නොමළ සුමට  තැන්
සිංහබාහුගේ සිනිඳු ඇගිලි තුඩු
සනහනා විට,
සිංහබාහුගේ පියවුණු නෙත් අගිස්සෙන්
උණු කදුළක් මෝදු විය. . .

ගෙයි පිළ ඉස්සරහා මිදුලේ 
අම්මා  මැවූ රටා උඩින්
එහේ මෙහේ ගිය පිය සටහන් ගොන්නක්ය. .
ඒත්
මන්දස්මිතියකින් සැරහී
බුදු පුදට මල් නෙලන
අප්පච්චි විතරක්ය දැන්
මිදුලේ පෙනෙන තෙක්  මානයේ. . .

නොරට ගිය පසු හෙට දින
මේ දහස් පෙති මල් සුවඳ
සිංහබාහු
කෙදිනක විදින්න ද ආයේ   ? ?

පියෙන් පිය ඉහළ නඟිද්දී,
ගම්මණ්ඩියෙන් දුර ඈත
මහ පුර මැදත්,
සිංහබාහුට දිවි දෙමින් හැමූ දහස් පෙති මල් සුවඳ
වියැකේවි සිදු දිය පවුරෙන් එපිට දී හෙට දිනේ. . .

සිංහබාහුගේ ඇගිලි තුඩු උණුසුමින් දිවි ලබන
දහස් පෙති මල් ගසත් වියැකේවි මතු එවන් දිනක දී

සිංහබාහු අඟලෙන් අඟල උස යද්දී  ත්
යොදුනින් යොදුන ඈත්  වෙත්දී ත්
වෙනසක් නැතිව කදුළ සඟවාලා
ආඩම්බරයෙන් සිනාසෙන අප්පච්චිට
දුක දැනේවි  බෝම 
නැති දාට දාස්පෙතියා මල් බුදු පුදට . . . .

අම්මා  මවන  රටා වලට පාලු හිතේවි
ඒ උඩින් ඇතිරුණු දාස්පෙති මල් නැතිව

දිග් විජය ට හෙට උදෙන්ම
දාස් පෙති උඩින් පිය තබා යන්නට 
සිත් සැදෙන්නට  සිංහබාහු යළිත්
හෙලු වේය ගැඹුරු සුසුමක්
දහස් පෙති මල් පෙත්ත අත නොහැරම. . .

Monday, May 12, 2014

නුබ මගේ
පලමු  ප්‍රේමය  වුනානම්. . . . .
සද ගිරේ
කතර ඉම නොපිපී
පලමු ප්‍රේමය වුනා නම්. , . .

කුලුදුලේ
වසත් කාලේ
දෑස මානේ
උණුහුමේ
හිනැහුනානම්. . .

නුබ නිසා
පරම පිවිතුරු
ප්‍රේමයේ..
මුල් හැඟුම්
ඉපදුනානම්. . .

තිබොල් කටු පැටලී...
රිදී වනවූ
ඉකි ගහන හඳකින්
නොවී....

මානසී  දියේ
සුදු පියුම සේ
හඳක ආලෙන්
දෙව් ලියේ නුඹ
දෙපා පිදුවානම් ........

Saturday, August 10, 2013

අවසාන කවිය.....

හතේ කණිසමට, අඳුර ගෙට රිංගද්දී 
මැවෙන සෙවනැලි  රටා විනිවිද 
මගේ මැණික් පහන් සිළ 
මතුවෙනා නිමේෂය 
සෙව්වේය, මගේ ඇස් යළි යළිත් ......

පරණ කනප්පුව උඩ 
අපේ මඟුල් ෆොටෝ එක..
දූවිල්ල අතරින් 
හිනැහුනාදෝ නුඹ හොරෙන්...??

අඟලක බිම් කඩට, බසයේ 
පොර බදා අවුල්වුණ  හිසකේ ,
සාරි හැට්ටෙ  අත් අතරින් 
බෙදෙන දා බිඳු  සුවද ,
ඉදිකඩට ඔබ්බෙන් 
එබි කම් කරන්නේයැයි 
හැඟෙයි මට යළි  යළිත් .............

එක් කලෙක ලියැවුණු 
අපේ රසබර පෙම්පත් 
සොරාගෙන යද්දී, 
ගිම්හාන සුළඟ විත්... 
වසන්තය මිරිකා දියකර ,
ජීවිතය උගස්කර,
පොලොව සරි දිරියෙන්
සටන් කළ නුඹ,
සෙබළියක  වී ...
බොළඳ බස්, පෙම් සිහින,
ඉඟිවලට ලඝුව, සිර  වූ
සැබෑ සෙනහසේ
දිග, පළල,ගැඹුර
පෙන්නුවා මා නෙතට..

නුඹේ දිලුණු පබවත් රුව සරහන්න 
කසුන් මිණි, කසී සළු දෙනු බැරිව,
මගේ හඳ
උපන් ළසෝ දුක් ඇදින,
පරඩල් පතක වෙස් ගෙන 
ගොහොරතර කඩමාලු  ඇඳි  
නුඹේ 
හේබා ගිය මුහුණේ 
තවම ඇත රූබර නටඹුන්...... 

හෙට්ටුකර අන්තිම රුපියලට 
ඉතිරි කර විද විද අපවාද 
ගෙන ආ බිත්තරයෙ 
කහමදය පුතුටත් ඉතිරිය මටත් දී 
හිනැහුණ අම්මාය නුඹ...

ලේ මස් විය කොට , 
සැදූ  පුතුන් රජුන්ව ඈත රටවල...
නුඹේ ප්‍රේම කුමරා , අඟ පසඟ අවසඟව 
රෝද පුටුවේ අවකල්ව ....

වඩින් කුමරිය,
රිදෙන, ඉදිමුණ හන්දි පරදා .... 
සමනළ සිහින
කීතු කීතු වී ගිය පසු,
නුඹ එකම අත්වැලව 
මා නුඹ සමග පියමන් කළ 
රළු පරළු වල ගොඩැලි පිරි මාවතේ 
දෙපස 
අතරින් පතර පිපී 
තවමත් ඉතිරි වූ 
නටු අගින් ගිලිහෙන්න පෙරුම් පුරනා 
හෙන්දරික්කා මලක 
අවසාන  සුවඳ බිඳ විද ගන්න
ඉක්මනින්...

"අකුරු අඩුවුණු  ආදරේ..
 තාල  ඉහිරුණු ජීවිතේ..
 නුඹේ එක් රළු වියළි වදනක්
 ගීයක්ය මට සෙනෙහසේ.. "

ජනපද කල්‍යාණි ......

සැලුන් දොර දෙපළු කර 
දොරට වැඩ ඇසුරු සැණ 
බෙන්ස් රථ විමානෙන් 
ඉගිලෙනා  දෙවඟනන් 
අතර, 
දා වක ගැසුණු වැදිරියකි 
ඈ ...

ගොජර මඩ  කුණු කාණුවේ 
සවලෙන් ඇද ඇද 
සුදහ ගින්නට  පනමක් හොයන 
සාපලත් මානවි ඈ, 
උපන්නාට මෙලොව වැනෙන ...
නේද මහත්තයෝ ....?

මහත්වරුණි, එන්න ගොම්මනේ 
ඇගේ වත්තට,
ගඳ ගහන,
කලුවර වීදි අතරින්.

පයිප්පය පොදු 
දොවයි 
සුනිල්වන් ගත ඇගේ. 
උනා කඩමාලු 
උලයි ඈ කුංකුම. 

විදා වරලස 
නිරුවත් කුරුට්ටන් අතරින් 
පියමං කරයි ඈ 
මල් ගවුම ගවසා 
නොමැසූ ඉරුණු තැන් නැති 

ඇමඳ, පුංචි කාමරය 
කහට වතුරත් සදා 
පෙරමං බලයි ඈ 
බුර බුරා ඇවිලෙන 
සිදාදියේ කල්පාන්ත 
ගින්නට 
දවණු නොහැකි වූ 
ඈ  සිත,
අරක්ගත් 
පුරුෂයා එනතුරා ....

මහත්වරුණි,
ටයි පටිය, රතු පොත්ත 
නොමැති කුමරෙක්ය ඔහු.  

සුකුමාල  පෙම් සිහිළ 
බෙදන විහඟා  නොවේ ඔහු 
ඔබ වගේ.

නට්ටාමි කුමරෙක්ය 
ගඳ ගහන, ගංජා බොන 
නූගත් .....(තව.හ්ම්ම්..) .පාදඩ   ...

එහෙත් තියුණු ඇස් ඇතැ 
ඔහුට... 
වදුරු මැහැල්ලක, 
දා වක ගැසුණු 
සතුව ඇති 
පණ  ගසන 
රතුම රතු 
උණුසුම්ම 
හඳ විනිවිදිය හැකි 

ඉන් බෙදන 
රළු පරළු 
මට සිලුටු 
ආදරය විදිය හැකි 
සොදුරු මිනිසාය 
ඔහු, 
නන්ද කුමරුනි.

හඩන්නී.... ඈ ..... හඩන්නී......


සීතල  ගිනි අඟුරු බිඳිති
තවම නිදිද චිතකයේ...
මූසල මළ බෙර ඇඩියා
මකන්නේ උලලේනියේ...

රෑ  හීනෙක නුඹ මළ දා
ඇඩු සීතා, කුමරුනේ...
හැබැහින් වූ මේ වියෝවට
හිත සනසනු කොයි ලෙසේ..

උඩින් ගිනි තබා පිය
එදා පෑ පතිනි දම්
ඉහිරුනේ විසුරුනේ
ඈටමත් නොදැනීම
සෙයිලමේ මහෝඝෙට....

දසිස් රාවණ තෙදෙස් බලපා
වෙනස් නොමවුණ  සිත් ඇගේ.....
සරුව පිත්තල මොනර හුළඟට
ගසා විසි විණි රහසිනේ.....

නුඹට බැඳී පෙම් ලුහුව නොලිහිණි..
සිත් සොරුන් වියු දැලක පැටලුණි ...
සීත අම්බර පෙමින් උදුලන
චණ්ඩ කතරක නිමක් නොමදැන
අතරමන් වුණි......

හඩන්නී.... හඩන්නී....
ඈ නිසා මළ නුඹේ
රුව බදා හඩන්නී ...
එදා සිට මෙදා  තෙක්
 හැඬු ලෙසම
හඩන්නී ............