Saturday, August 10, 2013

අවසාන කවිය.....

හතේ කණිසමට, අඳුර ගෙට රිංගද්දී 
මැවෙන සෙවනැලි  රටා විනිවිද 
මගේ මැණික් පහන් සිළ 
මතුවෙනා නිමේෂය 
සෙව්වේය, මගේ ඇස් යළි යළිත් ......

පරණ කනප්පුව උඩ 
අපේ මඟුල් ෆොටෝ එක..
දූවිල්ල අතරින් 
හිනැහුනාදෝ නුඹ හොරෙන්...??

අඟලක බිම් කඩට, බසයේ 
පොර බදා අවුල්වුණ  හිසකේ ,
සාරි හැට්ටෙ  අත් අතරින් 
බෙදෙන දා බිඳු  සුවද ,
ඉදිකඩට ඔබ්බෙන් 
එබි කම් කරන්නේයැයි 
හැඟෙයි මට යළි  යළිත් .............

එක් කලෙක ලියැවුණු 
අපේ රසබර පෙම්පත් 
සොරාගෙන යද්දී, 
ගිම්හාන සුළඟ විත්... 
වසන්තය මිරිකා දියකර ,
ජීවිතය උගස්කර,
පොලොව සරි දිරියෙන්
සටන් කළ නුඹ,
සෙබළියක  වී ...
බොළඳ බස්, පෙම් සිහින,
ඉඟිවලට ලඝුව, සිර  වූ
සැබෑ සෙනහසේ
දිග, පළල,ගැඹුර
පෙන්නුවා මා නෙතට..

නුඹේ දිලුණු පබවත් රුව සරහන්න 
කසුන් මිණි, කසී සළු දෙනු බැරිව,
මගේ හඳ
උපන් ළසෝ දුක් ඇදින,
පරඩල් පතක වෙස් ගෙන 
ගොහොරතර කඩමාලු  ඇඳි  
නුඹේ 
හේබා ගිය මුහුණේ 
තවම ඇත රූබර නටඹුන්...... 

හෙට්ටුකර අන්තිම රුපියලට 
ඉතිරි කර විද විද අපවාද 
ගෙන ආ බිත්තරයෙ 
කහමදය පුතුටත් ඉතිරිය මටත් දී 
හිනැහුණ අම්මාය නුඹ...

ලේ මස් විය කොට , 
සැදූ  පුතුන් රජුන්ව ඈත රටවල...
නුඹේ ප්‍රේම කුමරා , අඟ පසඟ අවසඟව 
රෝද පුටුවේ අවකල්ව ....

වඩින් කුමරිය,
රිදෙන, ඉදිමුණ හන්දි පරදා .... 
සමනළ සිහින
කීතු කීතු වී ගිය පසු,
නුඹ එකම අත්වැලව 
මා නුඹ සමග පියමන් කළ 
රළු පරළු වල ගොඩැලි පිරි මාවතේ 
දෙපස 
අතරින් පතර පිපී 
තවමත් ඉතිරි වූ 
නටු අගින් ගිලිහෙන්න පෙරුම් පුරනා 
හෙන්දරික්කා මලක 
අවසාන  සුවඳ බිඳ විද ගන්න
ඉක්මනින්...

"අකුරු අඩුවුණු  ආදරේ..
 තාල  ඉහිරුණු ජීවිතේ..
 නුඹේ එක් රළු වියළි වදනක්
 ගීයක්ය මට සෙනෙහසේ.. "

No comments:

Post a Comment