අට පැයේ මුරෙන් පසු
තැලී තෙරපුනත් කය,
එකසිය තිස් අටේ.......
සැහැල්ලුය හිතනම්
හෙට වෙසක් නිසාවෙන් ...
සුදම් ලෝ සිරි සදන
දිලි මැදුරු
සිඹිමින් පුරඹර,
පසුපසට දිවයද්දී ,
තරගයට හනි හනික..........
මහ මග ඉදන් ඇවිදින්
කොලොම්පුර වෙසක් සිරි
දෙදරන බස් කවුළු අතරින්
නෙතු අගට,
පුංචි සන්දියේ
දැක ගන්න පින් මදි වෙච්චි ...
ජීවිතය මිරිකනා
නිමක් නැති ප්‍රශ්න යට
හැංගිලා දුක් වින්ද
ළමා වියේ මතක යළි
ඇවිදින් තාත්තාගේ හිත මත්තට
මාසයක් පුරාවට බට කපා,
ඔට්ටපාලුවෙන් හැඩ මවා
කොරටු එළවලු කාසි කර
අර ගත්ත සව් කොලෙත්
බික්කු ද රැළි ද ලා හැඩ කරලා
අපි වදපු වෙසක් සිරි
කොයි තරම් එළියයි ද
තාත්තා සිහිකළා ...
කුලී ගෙදර
වර්ග අඩි අටසීයේ
හරි හතරැස් ලෝකයේ
හිර වෙච්චි පුංචි පුතු
දකීවිද ඒ වෙසඟ
කොයි ලෙසක ..........
පොත පතක බර මිසක
දැනෙන අන් යමක් වෙද
ඒ හිතට ........
බස් එකෙන් පැන ගත්තු
ගමන් යන්නට ගෙදර
ඇස ගොහින් නතර වුනේ
එක පොකුරෙ ගුලි වෙලා
එල්ලිලා ඉන්න
කූඩු ගොන්නක් අසළ .....
හිත පිපී ඉපිලේය
තාත්තගේ දැන්නම්..
පසුම්බියේ ඇත
අහම්බෙන් ඉතුරු වුන
සියයේ කොළ කිහිපයක්.
අටපට්ටම් සැකිල්ලක්
එල්ලිලා තාත්තගේ ඇඟිලි වල
සව් කොලත් තුරුළු වී
තාත්තගේ පපුතුරට
තාත්තා දුටු වනම පැවසුවා
පුතු මෙහෙම
"මේ මොකද තාත්තේ..
කූඩු අලවන්නේ කවුද....
හෙට අපේ දන්සලනේ
ගෙදර නෑ මම ඔන්න
දවසේම "
No comments:
Post a Comment