Saturday, August 10, 2013

අවසාන කවිය.....

හතේ කණිසමට, අඳුර ගෙට රිංගද්දී 
මැවෙන සෙවනැලි  රටා විනිවිද 
මගේ මැණික් පහන් සිළ 
මතුවෙනා නිමේෂය 
සෙව්වේය, මගේ ඇස් යළි යළිත් ......

පරණ කනප්පුව උඩ 
අපේ මඟුල් ෆොටෝ එක..
දූවිල්ල අතරින් 
හිනැහුනාදෝ නුඹ හොරෙන්...??

අඟලක බිම් කඩට, බසයේ 
පොර බදා අවුල්වුණ  හිසකේ ,
සාරි හැට්ටෙ  අත් අතරින් 
බෙදෙන දා බිඳු  සුවද ,
ඉදිකඩට ඔබ්බෙන් 
එබි කම් කරන්නේයැයි 
හැඟෙයි මට යළි  යළිත් .............

එක් කලෙක ලියැවුණු 
අපේ රසබර පෙම්පත් 
සොරාගෙන යද්දී, 
ගිම්හාන සුළඟ විත්... 
වසන්තය මිරිකා දියකර ,
ජීවිතය උගස්කර,
පොලොව සරි දිරියෙන්
සටන් කළ නුඹ,
සෙබළියක  වී ...
බොළඳ බස්, පෙම් සිහින,
ඉඟිවලට ලඝුව, සිර  වූ
සැබෑ සෙනහසේ
දිග, පළල,ගැඹුර
පෙන්නුවා මා නෙතට..

නුඹේ දිලුණු පබවත් රුව සරහන්න 
කසුන් මිණි, කසී සළු දෙනු බැරිව,
මගේ හඳ
උපන් ළසෝ දුක් ඇදින,
පරඩල් පතක වෙස් ගෙන 
ගොහොරතර කඩමාලු  ඇඳි  
නුඹේ 
හේබා ගිය මුහුණේ 
තවම ඇත රූබර නටඹුන්...... 

හෙට්ටුකර අන්තිම රුපියලට 
ඉතිරි කර විද විද අපවාද 
ගෙන ආ බිත්තරයෙ 
කහමදය පුතුටත් ඉතිරිය මටත් දී 
හිනැහුණ අම්මාය නුඹ...

ලේ මස් විය කොට , 
සැදූ  පුතුන් රජුන්ව ඈත රටවල...
නුඹේ ප්‍රේම කුමරා , අඟ පසඟ අවසඟව 
රෝද පුටුවේ අවකල්ව ....

වඩින් කුමරිය,
රිදෙන, ඉදිමුණ හන්දි පරදා .... 
සමනළ සිහින
කීතු කීතු වී ගිය පසු,
නුඹ එකම අත්වැලව 
මා නුඹ සමග පියමන් කළ 
රළු පරළු වල ගොඩැලි පිරි මාවතේ 
දෙපස 
අතරින් පතර පිපී 
තවමත් ඉතිරි වූ 
නටු අගින් ගිලිහෙන්න පෙරුම් පුරනා 
හෙන්දරික්කා මලක 
අවසාන  සුවඳ බිඳ විද ගන්න
ඉක්මනින්...

"අකුරු අඩුවුණු  ආදරේ..
 තාල  ඉහිරුණු ජීවිතේ..
 නුඹේ එක් රළු වියළි වදනක්
 ගීයක්ය මට සෙනෙහසේ.. "

ජනපද කල්‍යාණි ......

සැලුන් දොර දෙපළු කර 
දොරට වැඩ ඇසුරු සැණ 
බෙන්ස් රථ විමානෙන් 
ඉගිලෙනා  දෙවඟනන් 
අතර, 
දා වක ගැසුණු වැදිරියකි 
ඈ ...

ගොජර මඩ  කුණු කාණුවේ 
සවලෙන් ඇද ඇද 
සුදහ ගින්නට  පනමක් හොයන 
සාපලත් මානවි ඈ, 
උපන්නාට මෙලොව වැනෙන ...
නේද මහත්තයෝ ....?

මහත්වරුණි, එන්න ගොම්මනේ 
ඇගේ වත්තට,
ගඳ ගහන,
කලුවර වීදි අතරින්.

පයිප්පය පොදු 
දොවයි 
සුනිල්වන් ගත ඇගේ. 
උනා කඩමාලු 
උලයි ඈ කුංකුම. 

විදා වරලස 
නිරුවත් කුරුට්ටන් අතරින් 
පියමං කරයි ඈ 
මල් ගවුම ගවසා 
නොමැසූ ඉරුණු තැන් නැති 

ඇමඳ, පුංචි කාමරය 
කහට වතුරත් සදා 
පෙරමං බලයි ඈ 
බුර බුරා ඇවිලෙන 
සිදාදියේ කල්පාන්ත 
ගින්නට 
දවණු නොහැකි වූ 
ඈ  සිත,
අරක්ගත් 
පුරුෂයා එනතුරා ....

මහත්වරුණි,
ටයි පටිය, රතු පොත්ත 
නොමැති කුමරෙක්ය ඔහු.  

සුකුමාල  පෙම් සිහිළ 
බෙදන විහඟා  නොවේ ඔහු 
ඔබ වගේ.

නට්ටාමි කුමරෙක්ය 
ගඳ ගහන, ගංජා බොන 
නූගත් .....(තව.හ්ම්ම්..) .පාදඩ   ...

එහෙත් තියුණු ඇස් ඇතැ 
ඔහුට... 
වදුරු මැහැල්ලක, 
දා වක ගැසුණු 
සතුව ඇති 
පණ  ගසන 
රතුම රතු 
උණුසුම්ම 
හඳ විනිවිදිය හැකි 

ඉන් බෙදන 
රළු පරළු 
මට සිලුටු 
ආදරය විදිය හැකි 
සොදුරු මිනිසාය 
ඔහු, 
නන්ද කුමරුනි.

හඩන්නී.... ඈ ..... හඩන්නී......


සීතල  ගිනි අඟුරු බිඳිති
තවම නිදිද චිතකයේ...
මූසල මළ බෙර ඇඩියා
මකන්නේ උලලේනියේ...

රෑ  හීනෙක නුඹ මළ දා
ඇඩු සීතා, කුමරුනේ...
හැබැහින් වූ මේ වියෝවට
හිත සනසනු කොයි ලෙසේ..

උඩින් ගිනි තබා පිය
එදා පෑ පතිනි දම්
ඉහිරුනේ විසුරුනේ
ඈටමත් නොදැනීම
සෙයිලමේ මහෝඝෙට....

දසිස් රාවණ තෙදෙස් බලපා
වෙනස් නොමවුණ  සිත් ඇගේ.....
සරුව පිත්තල මොනර හුළඟට
ගසා විසි විණි රහසිනේ.....

නුඹට බැඳී පෙම් ලුහුව නොලිහිණි..
සිත් සොරුන් වියු දැලක පැටලුණි ...
සීත අම්බර පෙමින් උදුලන
චණ්ඩ කතරක නිමක් නොමදැන
අතරමන් වුණි......

හඩන්නී.... හඩන්නී....
ඈ නිසා මළ නුඹේ
රුව බදා හඩන්නී ...
එදා සිට මෙදා  තෙක්
 හැඬු ලෙසම
හඩන්නී ............

කලු සිවුරු .......

කාමය, බලය නම් සැපය...... 
ධනය, ප්‍රභූත්වය සැපයට හේතුවය.... 
විශාල මුඛ විවර කර  
හුදී ජන ලේ උණු කිරීම   
සැප ලබා ගැන්මේ මාර්ගය ය......
කලු සිවුරු මේ අනාර්ය සත්‍යය පසක් කළහ.......

නිවන, පුනර්භවය මනෝ ප්‍රලාපයකට 
වැඩි යමක් නොවේ....
උහු එලෙස වටහා ගත්හ....

සියුම් දහම ගෙනෙන 
අප්‍රමාණ නිරාමිස ලෝතුරු සුවය,
ගෝලීයකරණය වූ ලොවක 
දොරේ ගලනා පස්කම් සැපට ගිජු මනසට 
ගෝචර නොවිණි  කිසි ලෙසක......... 
ඉදින් උහු  ඇස්, කන්, නාසා, කාය, මන පිනවමින් 
හැකිතාක් කල් සැප විදුම්හයි ඉටා  ගත්හ......

බුදු දහම , බොදු බැතිය තරම් විකිණිය හැකි 
මිල නියම කළ හැකි අන් යමක් කවරක් ද....??
ඉතින් උහු අන් දන ලෙසම  මාකටිං කරන්නට විය..
අලෙවි විය, උණු කැවුම් ලෙස...
මිනිස්සු  උන් වට කර ගත්හ....
ඒ සමග සිතූ පැතු සම්පත් ද පහල විණි////
උණු විය, තරුණ සිංහල ලේ කැකෑරෙන්නට විය, 
ගෝත්‍රවාදය හිස මත්තට රැගෙන ..........
දෙදහස් පන්සිය වසක් පුරාවට පීන පුරාතනයන්, 
දස දහස් ගණන් දිවි දී සුරැකි 
අභිමානය පාවා දුන් නරුමයන් විය හැක්කේ කාට ද??? 

ඉතින් සටන ඇරබිණී....
සැබවින්ම සටන ඇරබුනේ පමා වීය... 
ඔව්හු තැලෙමින් පොඩි වෙමින් වසර පන්සිය ගණනක් 
උපන් බිමේ උරුමයන් අහිමි වෙද්දී නොදැක්කා  සේ සිටියහ.... 
අවදි කරන තුරු සිටියහ.... අවදි වන්නට පෙරුම් පුරමින් සිටියහ.... 
දැන් ඔවුනට නායකයන් ලැබී තිබේ.....

ඔවුහු වෛරය වපුරුහ ....
ඔවුහු භීතිය වැපිරුහ ....
සැකය, අවිශ්වාසය මොනවට පෝෂණය කළහ....

මුලින් සතුරෝ ආක්‍රමනිකයෝ වූ හ.....
කෙමෙන් හොදම මිතුරා ද, අසල්වාසියා ද 
සතුරෙකු සේ දක්නා ලදී......

තැන තැන සෙමින් සෙමින් ගිනි ඇවිලුනේ ය

මිනිස්සු උන් පිළිකුල් කළහ..
නිකසල දහමට කැළැල් ගෙනෙන 
පිශාචයන් කැලක් සේ 
කළු සිවුරු පිටු දුටහ.

බහුතර සුළුතරය තැති ගත්හ...
සුළු ජාතියක්ව ඉපදීමේ පව 
තම දරුවන්ගේත් හෙට දවස 
වසා ගනු උහු දුටහ....

අන් ගොත් පතුරන්නෝ බිය වූහ ....
කහ සිවුරු බල නසා 
තම දහම වපුරන්ට 
මැවු ස්වප්න ඉරි තලනු 
දුටු ඔවුහු වියරු වැටුනහ....... 

කහ සිවුරු නොදැක්කා සේ  සිටියහ..... 
බාලයන්ගේ ලාමක ක්‍රියා
පමා නොවී  කෙලෙස් තවමින් උන් 
ඒ උතුමන්ගේ දැහැනට  නොගැටුණි....

මිනිස්සු රහසින් උන්ට ඇලුම් කළහ .....
තම දහම වෙනුවෙන් නරකින් හෝ සොදක් කරනා 
උන් වීරත්වයේ ලූහ .....

මිනිසුන්ට උන් ගැන තකන්නට කලක් නොලැබුණි ....
ජාති, ජරා ව්‍යාධියෙන් පීඩිතව 
සුතන් රකින්නට වහල්කම් කරමින්වුන් උන් 
මේ ගෝෂාව නැසූ කන්ව සිටියහ......
කාමසුඛල්ලිකානු යෝගයම ප්‍රගුණ කරමින් 
සිටිවුනට නම් කිසිත් ඇසුනේම නැත...... 

පාලකයෝ මුන්ටත්, මුන්ගේ පස මිතුරන්ටත් 
දෙගොල්ලන්ටම ඇලුම් කළහ.....
වාසි පැති බලමින් රහසේම උසි ගැන්වූහ....
රහසේම නිහඩ කළහ...
දැක නොදැක්කා  සේ සිටියහ.....
නොදැක දැක්කා සේ සිටියහ.....

ජවය බලය උතුරමින් තිබූ
අරමුණක් නැතිව වුවෝ  රොද බැද ගත්හ.....
එදා ලෙනින් ලා , චේ  ලා පෙන්වා අන්දනු ලැබූ ලෙසින්ම 
යලිත් ඔවුන් කර්ම කාරක කළහ....... 
බිලි පුදට පෙළ සාදවන ලදී ...... 
ඔවුහු උත්තරීතර අරමුණට දිවුරමින් කැප වුහ...

අවිශ්වාසය, පාලම් බිද දමද්දී, 
පවුරු ඉදි වුණි....
සේනා රහසේම රැස් කෙරුණි. ...
කොනිති ගැසීම් දෙපසින්ම සිදු වුණි...
මර්ධනය ප්‍රතිමර්දනය  කාගේද ??
කිසිවෙක් නොදත්හ.......

සටන පැතුරුනි .......
යුද්ධය චමත්කාර ජනකය .....
සටන් කිරීම ආශ්වාද ජනකය...... 
පිළිමලුන්ගේ භීතියට පත් දෙනෙත්, 
වේදනාත්මක යාදිනි, 
උණු ලේ ධාරා,
මේ සියල්ල යුද්ධයකටම උරුම 
සුන්දර දේය ....
යුද්ධය මානවයාගේ ප්‍රකෘතියයි......

එහෙත් එය වියරුවකි......
එහෙත් අහිමිවන දෙනෙතකින්, පාදයකින් 
ජීවිතයකට උදාවන කලුවර 
නුඹටද මටද පසක් නොවේ....
මවකගේ සුසුමක බර, 
පියෙකුගේ රහස් කදුලක සංවේගය ??
අපි ඒ ගැන කථා නොකර ඉමු ....

යුද්ධය වේගයෙන් පැතුරිනි .....
මැද මාවතට මුලින් වෙඩි තබන ලදී..... 
පැත්තක් ගන්නට සැමට බල කෙරුණි.... 
දෙපසටම සාධාරණ තර්ක තිබුණි...
ඒවා ප්‍රභලය. ...නොබිදෙන සුළුය... 
සටන් කිරීමට ප්‍රමාණවත්ය......
එහෙත් මිනිස් ජිවිතයක්, අතක්,  පයක් තරම් 
ඒවා වටිද...????? 
ඒ ගැන කතා කරන්නට කිසිවෙක් නොසිටියහ..... 


වෛරයට ආරම්භයක් මිසක අවසානයක් නැත ......
සෙබළු උදාර ලෙස දිවි පිදූහ .....
එහෙත් උන්ට හිමි වන්දිය, 
උන්ගේ අඹුවන්ට නිකන්ම දෙන්නට 
නිලධාරීන් ලෑස්ති වී සිටියේ නැත.....
අවස්ථාවාදියා උණ්ඩයෙන් පමණක් නොව 
අහරපතින් පවා මුදල් සෙවුවේය ......
ඊළග මොහෙතේ උන්ඩයක්ම උන් නිහඩ කළේය ...
පාලකයෝ බියෙන් මුසපත්ව කල දුටු කල වල ඉහ ගත්හ.....
විටෙක උණ්ඩය උන් ද අමතක කලේ  නැත.....

අන්තවාදයට කෙළවරක් නැත ....
ඉතින් අභ්‍යන්තර ස්පෝටන දුලභ නොවිය.....
ඉන් මිලේච්චතමයා, සැමවිටම නැතිමුත්,
බොහෝවිට ජය ගත්තේය......
යුද්ධයේ නියමය එයයි...

මුසල අදුර දහවල ද රැය ද පැතිරුණි ......

සියල්ලෝම හති වැටී උන්හ.....
කෙමෙන්  සියල්ල නිශ්චල වුණි .....
පරජිතයෝ මිසක, දිනුවෙකු නොවූහ.....
එහෙත් බොහෝ හානි අන් දහම් ඇදහුවන්ටයි
උහු නැගිටගනුවත් නොහී සිටියහ....
කෙමෙන් කෙමෙන් මුහුද රැළි නගන්නට විය.... 
කළු සිවුරු කුණු රොඩු ලෙසින් වෙරළට ගසා ගෙන ගියේය...

ජීවිතය යලිත් හුස්ම ගන්නට පටන් ගති....
යලිත් කහ සිවුරු බබලන්නට විය....
එතුමෝ  අකම්පිතව සිටියහ.....
සැගව තිබූ නිර්මල දහම යළි  මතු කළහ...
තුවාල සෙමින් වේලුනි ...
අන් දහම් ද  කෙමින් කෙමින් යලිත් හුස්ම නගන්නට විය 
කළු සිවුරු යලිත්......

ප .ලි :මෙයට පාදක වුයේ අප අත් විදි යුද්ධය නොවේ.. අප විසින් වලක්වා ගත යුතු අනාගතයයි 

සිද්ධාර්ථ .......

අතැර යමි ජීවිතය, 
පාට දේදුණු සලුව,
තිබොල් කටු මත එලූ .....

ගිලෙමි මහ දියවරක 
හුස්ම තද කර තදට,
වසමි ඇස් - අරිමි සිත් 
විදිමි සම විනිවිදින සීතල ....

ගසමි පා - ගිලෙමි තව තව 
වෙන්ව යමි ලෝකයෙන්....
ඝනැති දිය වෙලී ගත 
විදිමි සුව තව හොදට , 
මකාලමි ඇලුම් පෙර දවස මා බැන්ද ..

එහෙත් මතු නිමේෂ දී 
හුස්ම ගන්නට සිදුව මතුව එමි දිය මතට 
දකිමි ඒ ලොව යලිත්, අතැර යන්නට සිතූ ...

ඇලුම් බිද වනගතව කවර යහපතද...
ඇලුම් දෙන කෙලෙස් පිරි 
බොහෝ  දේ  නුවර මිස වනේ නැත්තම්...
වනගත අපේ සිත අපිටත් හෝරාවට 
වනයට අලුත් ඇලුම් පානම්
මේ බවුන් වැඩුමේ අරුත කිමද ..

යළි ආමි නුවරටම ..වඩමි මම වසා ඇස් 
නුවර මැද සිට......

විවර කළෙමි වසාලු දෙනෙත් 
සෙමින් ආශ්වාස ප්‍රශ්වාස කලෙමි 

දැහැන බිද ලා 
යොමා ලුයෙමි නෙත් 
ගෙන්දගම් පොළව මත නටන 
මගේ සගයන් දෙසට සීරුවෙන් 
සමවත් සුවය නොසිදෙන්නට .....

අසාර වූ පංචස්කන්ධය 
සනස සනසා දුක් විදින මිතුරන් 
දෙස මදහසක් පෑවෙමි

කෙලෙස් ගිණි පුපුරු ගසනා 
පුර මැද සිටම විදිමි සමවත 
රතී  රාග මාර දූවරුන් රගද්දී, නෙත් මත්තේ ...
අන්වේෂණය  කරමි
මසැසින් අචේතනික ලොවක 
සචේතනික හේතු ඵල දහම 

දැහැන බිද දමා නැගී සිට 
ස්පර්ශ කරමි ගිනි මල් 
අනියත දහම ප්‍රාතිමෝක්ෂ කරමින් යටි සිතින්.. ...
විදින්නට තනමි ලෞකික සුවය
එහෙත් ඒ  හා බැදී එන දුකින් පීඩිතව 
යලිත් සොයා එමි දැහැන ....

කැඩෙන බිදෙන රුවක 
පිරුණු දුක යළිත් සිහි කරමි...
ඇලුම් බැදුම් දුරින් දුරු කරමි....
දයා දිය පිරුණු 
උයනක් මැද සිටම....

රෝෂ පරවශ හැගුම් හික්මවමි 
වියරුව උතුරා යන යුධ බිමක් මැදදීම 

සෙමින් දැහැන් ගත වෙමි 
දෑස් විවර කරගෙනම 
කමි, බොමි, ඇවිදිමි, සිනාසෙමි, 
වැළද ගමි මිතුරන්,  
දැහැන තුළ සිටම  - සමවත තුළම ගැලී 

ස්පර්ශ කරමි, නිරාමිස සුවය 
කෙමින් කෙමින් තද කරමින් ......
යථාවබෝධ නුවණ මතු කරමි
යළිත් නොගිළිහෙන ලෙසට ...

මඩ, කුණු පිරුණු වීදි ඔස්සේ 
පිය නගමි ,
නොවැකෙන්න දුවිලි බිදක්වත්...
බෙදමි සිසිලස පිනැත්තන්හට 

විකසිතව  සිනාසී 
සුවඳ දෙමි 
පිපී වැනෙමින් 
මද නලේ - සැහැල්ලුවෙන් ....

(P.S. : this is not something written about myself :) 


  


කියාදෙන්න මට එකම එක හේතුවක් ....

කියාදෙන්න මට  එකම එක හේතුවක් ....
වහලෙකුව හුස්ම ගන්නට....

පහදන්න මට නුඹට හැකිනම් 
නුඹත් මමත් පව්කාරයන්  වන්න මාවතක් .....

නොපෙනෙනා දෙවියෙක්ට  
භීතියෙන් මුසපත්ව යටත් කළ යුතුද පැණ ඇස ....

ඔහුගේ උදහසට බියෙන් 
අඳුරු අවිදු ගුහා ගැබක  සැඟව ගැහෙමින්....

සිතීමේ විමසීමේ නිදහස මවිසින්ම අහිමි කරගෙන 
තිරස්චීන අතීතයේ 
පදනම් රහිත මනෝ ප්‍රලාපයකට අනුව 
ලෝකයම දකින්නට , කන්න බොන්නට, හුස්ම ගන්නට 
පඹයෙකු විලසින්  
හේතුවක් නොවැටහේ මට .....


හදවතත්, බුද්ධියත් 
හොදත් නරකත් 
උතුම් මනු දහමත් මිසක 
හිස නැවිය යුතු 
සර්ව බලධරයෙකු 
නොපෙනේ මටනම් ......

සිනාවත් කදුලැලිත්
ජීවිතය පුරාවට 
කලවමට ගලා යයි ...
අහබු දිය ඇළි සමග ...
මද හසින් පිළිගැනුම 
හෝ නැගිට සටන් කෙරුම මිස 
කවර පලයද යාදිනි ගයා ,
දෙදන බිම ඇණ???
අප වපත දේ පමණි 
අප නෙලන්නේ  .....

අතීතය විසින් අප උරළු
නෑ කුළ ගොතින් සවි කළ 
මුග්ධ කම බිම හෙලා 
නිදහස් විය යුතු දවසකි 
අද එළඹ ඇත්තේ ....

නිල් අහස යට 
තණ පලස මත 
දිය ඌල ළග 
දියවෙන්න දෙන්න 
ජීවිතය 
නිදහසින් මුසපත්ව.... 

ලේ රසට ගිජුව 
වැනසුවා  ඇති අපි අපිම 

රදළ බැමි බිද හෙලා 
වහල් කම වනසලා 
ලූ ලෙසට පෙර දිනක 
යුගය ඇත එළඹ 
සටන් කළ යුතු 
මිනිසුන්ට හුස්ම ගන්නට දෙන්නට 
මිනුසුන් විලසටම 
අඳුරු ශාපයන්ගෙන් මිදී...
පෙළ ගැසෙමු බුද්ධියෙන්....




Friday, August 2, 2013

de wish......

i wish that every gun would fire smiles......
that would make all de burning hearts calm.....
i wish that every skin would be so thick......
that  even the strongest wrath
cannt breach  it.....

i wish that there would be a day...
that everyone would understand
that we will die today or tomorrow....
and that we would be judged at the end only by
the what we give but not what we earn.......

Sunday, July 21, 2013

උදුරා උගුල්ලා නුඹෙ ආදරේ ..

උදුරා උගුල්ලා 
නුඹෙ ආදරේ ..
විසිකර තලා පොඩිකර
කටු මාවතේ ..
පියඹා ඉගිල්ලී 
නිල ආකහේ  ..
විදිනෙම් යළිත් 
මම මගෙ 
නිවහල් සුවේ ......

ඉල්ලා ස්නේහේ  
හැඬු පෙර දවස් ...
ඒදෝ නො ඒදෝ 
ලතැවුනු  සවස් ....
යළි එන්නෙ නෑමයි
නිදහස් මමත් ...
හද නෑ සැලෙන්නේ 
පෙර සේ සොවින්......

සිහිනෙන් සිහිනේ 
කදුලැල් සලා ..
සැබැවින් සිටීයේ 
මා ගොළු වෙලා...
කුමරුන් තුරුල්ලේ 
වෙලෙනා නියා..
සිනහින් මුවගේ 
විදිනෙම් සදා ...

මට දැනෙනා මේ හැඟුමන් ........

මට දැනෙනා 
මේ හැඟුමන් 
පෙර දවසක 
ඔබ විඳ ඇති 

හද උනනා 
දුක් කදුලින් 
දුක සෝදා 
හිනැහෙන්නැති 

ඇත පාලු 
අහස බලා 
නුඹ වාගෙම 
සුසුම් හෙළමි 

එක සුසුමක 
දුක ලියලා 
ගී ගයන්න 
සුළඟට දෙමි 

ඒ සුළගේ 
හෙට දවසේ 
දස දහසක් 
පෙම් කරාවි 

මතු දිනයක 
හද බිදිලා 
සුළගට තව 
සුසුම් දේවි

ජේත්තු හැඩ වීදි දිගේ.....

ජේත්තු හැඩ
වීදි දිගේ
පරිස්සමට 
පා තියන්න .......
ගැස්සෙන හිත
තිස්සෙම ඇස් 
ගැටෙන ලගක 
තියා ගන්න ......


දිය කිදුරියො 
තටු ලැබිච්චි 
ඉඟි පෑවට 
ඉගිල්ලෙන්න ........
දන්නෙම නෑ 
මග හසරක් 
වැරදුන දින 
යළි වඩින්න ......

බවෙන් බවේ 
ආදරයෙන් 
පේ කළ හිත 
නුඹේ නමින් ......
බිදිච්ච දින 
පාහනු  බැ 
පෙර වාගේ 
අපූරුවට .......

සිදාදියේ 
අහස පුරා 
රග දුන්නට 
උජාරුවට .....
නුඹේ හිතත් 
හුල්ලාවී 
ලොවුතුරු පෙම
ඉහිරුනොතින් ..... 

Saturday, May 25, 2013

වසන්තය මහ මඟ


නොකියාම යන්න ගිය 
වසන්තය 
මෙන්න මහ මඟ 
දොරේ ගලමින්....
පියවරක් ඔබ්බෙන් 

වහස් බැල්මෙන් 
හිරිවැටෙන 
දඟ කරන 
ගැස්සෙන 
හිත යලිත් තිරිහන්ව....

වසන්තය හමුවී 
මහමගදී අහම්බෙන්