Saturday, May 25, 2013

වසන්තය මහ මඟ


නොකියාම යන්න ගිය 
වසන්තය 
මෙන්න මහ මඟ 
දොරේ ගලමින්....
පියවරක් ඔබ්බෙන් 

වහස් බැල්මෙන් 
හිරිවැටෙන 
දඟ කරන 
ගැස්සෙන 
හිත යලිත් තිරිහන්ව....

වසන්තය හමුවී 
මහමගදී අහම්බෙන් 

වෙසක් අරන් එන තාත්තා ...............

අට පැයේ මුරෙන් පසු
තැලී තෙරපුනත්  කය,
එකසිය තිස් අටේ.......
සැහැල්ලුය හිතනම් 
හෙට වෙසක් නිසාවෙන් ...

සුදම් ලෝ සිරි සදන 
දිලි මැදුරු  
සිඹිමින් පුරඹර,
පසුපසට දිවයද්දී ,
තරගයට හනි  හනික.......... 

මහ මග ඉදන් ඇවිදින් 
කොලොම්පුර වෙසක් සිරි 
දෙදරන බස් කවුළු අතරින්
නෙතු අගට, 
පුංචි සන්දියේ
දැක ගන්න පින් මදි වෙච්චි  ...
  
ජීවිතය මිරිකනා 
නිමක් නැති ප්‍රශ්න යට 
හැංගිලා දුක් වින්ද 
ළමා වියේ මතක යළි 
ඇවිදින් තාත්තාගේ හිත මත්තට

මාසයක් පුරාවට බට කපා, 
ඔට්ටපාලුවෙන් හැඩ මවා
කොරටු එළවලු කාසි කර   
අර ගත්ත සව් කොලෙත්
බික්කු ද රැළි ද ලා හැඩ කරලා 
අපි වදපු වෙසක් සිරි 
කොයි තරම් එළියයි ද 
තාත්තා සිහිකළා ...

කුලී ගෙදර 
වර්ග අඩි අටසීයේ 
හරි හතරැස් ලෝකයේ 
හිර වෙච්චි පුංචි පුතු 
දකීවිද ඒ වෙසඟ 
කොයි ලෙසක ..........
පොත පතක බර මිසක 
දැනෙන අන් යමක් වෙද 
ඒ හිතට ........

බස් එකෙන් පැන  ගත්තු 
ගමන් යන්නට ගෙදර 
ඇස ගොහින් නතර වුනේ 
එක පොකුරෙ  ගුලි වෙලා 
එල්ලිලා ඉන්න 
කූඩු ගොන්නක් අසළ .....

හිත පිපී ඉපිලේය 
තාත්තගේ දැන්නම්..
පසුම්බියේ ඇත 
අහම්බෙන් ඉතුරු වුන 
සියයේ කොළ කිහිපයක්.

අටපට්ටම් සැකිල්ලක් 
එල්ලිලා තාත්තගේ ඇඟිලි වල 
සව් කොලත් තුරුළු වී 
තාත්තගේ පපුතුරට 

තාත්තා දුටු වනම පැවසුවා 
පුතු මෙහෙම 
"මේ මොකද තාත්තේ..
කූඩු  අලවන්නේ කවුද....
හෙට අපේ දන්සලනේ 
ගෙදර නෑ  මම ඔන්න
දවසේම  "

හරිම බර මල කදකි

හරිම බර මල කදකි, 
මම වෙසෙන ...
නඩත්තුව ආමාරුය .....
මොකට මැවුවාද  දෙවියෝ .....

තුන් වේල  බැරිමනම් 
දෙවේලක්වත් කන්න 
දුන්නේ නැත්තම් ගින්දරයි 
පපුව මැදටම වදින 

දෙවියෝ මැවූවා මිසක ,
හාල් ඇටයක් වත් නොදෙයි 
නිකම් හිටියොත් කයට ......
වගුරපිය දා වතුර 
අව්වේ පිච්චී හොඳට ..... 

කියා නිමකළ නොහැකි 
අපමණක් වතාවත් 
උදේ    සිට  නිදි  ලබන තුරාවට
 කළ යුතුය කල් නොමා 
 රැක  ගන්න පන කෙන්ද 

වහල්  වී මේ කයට 
ඇයිද මේ මායාව ........
කය  අතැර 
මම වන්න හැකි වේද 
මට කෙදින ......

ඉගිලෙන්න ආකහේ...

ඉගිලෙන්න ආකහේ 
මොකට තටු මිනිහෙක්ට ......
දිලිසෙන්න ඉරක් සේ 
ඕනි නෑ  මිනිහෙක්ට .....

හිතේ  යට රිදුම් දෙන
තැවුල් යවුලින් බිදී ,
ඉහිරෙනා  ඇට  මිදුළු 
එකට ගොනු කර 
හිනැහෙන්න නිමේෂෙක 

ඉඩක් දුන්නොත් 
ඒ ඇතිය වැඩිත් එක්කලා 
මයේ හිතට.....

ඉහිරෙන්න ඉඩ නැත්ද

ඉහිරෙන්න ඉඩ නැත්ද 
සිහිනෙකින්වත් සිතට ......
තනි වෙන්න තහනම්ද
ඇසිල්ලක තුරාවට ........

හිනැහෙන්න ඕනිමද 
මේ තරම් සතුටකින් ....
ජීවිතය ගෙනාවේ 
කොහි සිටද
 නුඹ මෙමට ..............

නෙත් කෙවෙණි 
පාලුවෙන් උණු කඳුළු 
ළඟ නැතිව ......
හදවතත් ගැහෙන්නේ 
නුහුරු සතුටට 
බියෙන් .....

වැහීවිද හෙට වැස්ස 
ආයේමත් ගුගුරලා...... 
සේදෙවිදෝ පෑ 
නුඹ  මැව්ව සිතුවමේ ......

නැත නැතේ... 
චපල නැති කුමරියකි
නුඹ සියල් ගුණ සපිරි....
එහෙත් මේ හිස් කමකි
හිත කොනක සිට හමන 

උහුලන්න හැකි වේද 
දැනෙන හිස්කම හදට .....
දුකක් නැති ජීවිතේ 
බර වැඩියි නේද  මට .....

ඉගිල යන්නට හිතයි 
පිරුණු හිස් අහස වෙත ආයේ.